1883-1983 A.C.G.S. Amarasekera

Amarasekera-The Dancer offstage

Gate Mudaliyar A.C.G.S. Amarasekara (1883-1983)

වාල්මීකී පෙරදිග කවීන්ගේ පළමුවන ගුරුවරයා ය. මුදලිඳු ඒ.සී.ජී.ඇස්. අමරසේකර මෙරට ප්‍රතිචීන චිත්‍ර ශිල්පීන්ගේ පළමුවන ගුරුවරයා ය. ලාංකිකයන් අතර අන්තර්ජාතික කීර්තිය දිනාගත් චිත්‍ර ශිල්පීහු හැම කෙනෙක්ම පාහේ මුදලිතුමා යටතේ තෙළිකූර දැරුවෝ වෙති; නැතහොත් එතුමාගේ ශිෂ්‍යයන් යටතේ තෙලිකූර දැරුවෝ වෙති; ඒත් නැතහොත් පෙර කී දෙකොටසේ චිත්‍ර කෘතිවල ආභාසයෙන් පෝෂිතව ශිල්ප ශිල්පීහු වූවෝ වෙති. චිත්‍රය යනු කුමක්ද යන්න පළමුවරට මෙරට සමකාලීන චිත්‍ර රසිකයන් තුළ ලෙශමාත්‍රයක නමුත් හැඟුමක් අවබෝධයක් මුදලිතුමා ඇති කළේ නව පන්නයේ ශිල්පීන් ඇතිවීමට බොහෝ දිනකට පළමුව ය.”

ශ්‍රී ලංකාවේ ශත වර්ෂයක් ජීවත්වූ (1883 – 1983) විශිෂ්ටතම කලාකරුවා, කලා ගුරුවරයා, ඔහු නොවන්නේ ද? මහා කලාකරු ඇල්.ටී.පී. මංජු ශ්‍රී විසින් කරන ලද ඉහත දැක්වූ හැඳින්වීමෙන් මුදලිඳු අමරසේකර ගැන මඳ දැනුමක් ලබාගත හැකි ය. චිත්‍ර ඇඳීමට මෙන් ම චිත්‍ර කලාව ඉගැන්වීමට තම මුළු කාලයම කැප කළ අමරසේකර මුදලිතුමා ලංකාවේ සමසාමයික චිත්‍ර ශිල්පීන්ගේ ඉතිහාසයේ පළමුවන තැනැත්තා ද වන්නේ ය.

සිය ජීවිතයේ 98 වැනි වියේ පසු වූ 1980 මාර්තු මාසයේ දිනක නවයුගය පුවත්පතේ කර්තෘ එඩ්වින් ආරියදාස මහතාත්, කැමරා ශිල්පී බන්දු එස්. කොඩිකාරත් සමඟ කොළඹ ඩෝසන් පාරේ පිහිටි ඔහුගේ නි‍ෙවසට ගිය මට අදත් අසිරිමත් ඒ ගමන සිහිපත් කරගත හැකි ය. එදා මුදලිඳු අමරසේකර 98 හැවිරිදිව ලොව දෙස බැලුවේ ද්වේෂයෙන් හෝ දැඩි හැඟීමෙන් තොරව බව පෙනිිණි. ඔහුගේ කටහඬ සිය දෙවන ළමා වියට සුදුසු පරිදි නොවැඩුණු දරුවකු ගේ වැනි ය. එතෙක් ජීවන රටාව කරගෙන යන ඒ මහතා අප හමු‍වූයේ දිවා භෝජනයෙන් පසු සන්ධ්‍යා යාමේ විවේකී නින්දකින් පුබුදු ව‍ූවාට පසු ය. ඔහුගේ අලංකාර නි‍ෙවස වඩා නෑකම් කියූයේ කලාගාරයකට ය. ඔහු විසින් ඉකුත් වසර 80 ක පමණ කාලයක් තිස්සේ තෙල් සායමින්, දිය සායමින් නිම කරන ලද මාහැඟි කලා කෘති රැසක් ප්‍රදර්ශනාගාරයක තබන ලෙසින් එහි වැජඹුණි. ප්‍රභූන් රැසකගේ දුර්ලභ ගණයේ පුද්ගල ප්‍රතිරූප (Portrait) මේ අතර විශේෂයෙන් කැපී පෙනුණි. එදා මුදලිඳු මා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විටින් විට තම මතක සටහන් අලුත්කර ගත්තේ ය. කලාකරුවකු පමණක් නොව විජ්ජාකරුවකු ලෙස ද විටින් විට ඔහු අප මවිත කරමින් තම අතීත සිද්ධි හෙළි කළේ ය.

අම්මගේ ආදරේ

ඒබ්‍රහම් ක්‍රිස්ටෝෆර් ග්‍රෙගරි සූරියආරච්චි අමරසේකර 1883 මාර්තු 02 වැනිදා දකුණු පළාතේ දොඩන්දූවේ බද්දේගම උඩවත්තේ වලව්වේ උපත ලැබීය. “මගේ පියා ඒ.ඇස්. අමරසේකර, දේවගැතිවරයෙක්. එතුමා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට යාබද ව ඇති දේවස්ථානයේ දේවගැතිවරයා ලෙස කටයුතු කළා.
“මට දැන් වයස 98 පටන් ගත්තා විතරයි. දැන් ඉස්සර වගේ වැඩ කරන්න අමාරුයි. පෙනෙනව නේද දැන් කකුල් ඉඳිමිලා.” මුදලිඳු අමරසේකර කීවේ ය. ගෙදර සිටියත් ඔහු අත්දිග කමිසයක්, බෝ එකක් පැලඳ පිටතට යන්නාක් මෙන් යුරෝපීය ඇඳුමෙන් සැරසී සිටියේ ය. එකම අඩුව සපත්තු පයේ නොතිබීම ය. ඒ කකුල් ඉදීමුම නිසා ය. “දැන් අපි යමුකෝ ඉස්කෝලෙ වගතුග කියන්න.” ඔහු කැන්වසයක් මත අඳිමින් තිබ‍ූ චිත්‍රය මඳකට නවතා හරි බරි ගැසී වාඩි වුණේ ය.

“මම ඉස්කෝලේ යන්න ඉස්සර වෙලා පොඩි කාලේ ගෙදර එළිපත්තේ වැල්ලේ ඇඟිල්ලෙන් පින්තූර ඇන්දා. වෙන ළමයි බිත්ති පුරා බලි අඳිනව වගෙ. මම චිත්‍ර අඳිනව බලන්න ආ ළමයි පුදුම වෙලා ඒව දිහා බලන් හිටියා. එතකොට මට වයස 5 ක් විතර ඇති. සමහරු මා අඳින චිත්‍රවලට තෑගිත් ගෙනල්ල දුන්නා. චිත්‍ර කලාව මට උපතින් ම උරුම වූවක් කියලා මට හිතුණේ මම පසු කලෙකවත් ගුරු උපදෙස් නොගත් නිසා.”

Bullers Road

මුදලිඳු අමරසේකර මුලින් ම ඉගෙනීම ලබා ඇත්තේ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ ය. පාසල් ගිය මුල් ම දවස ඔහුට මතක තිබිණ. එදා පාසලේ උප විදුහල්පතිවරයාව සිටි පිලිප් ලුවිස්ට ලොකු බණ්ඩියක් තිබ‍ූ බව මුදලිඳු පැවසුවේ සිනාසෙමිනි. ‘‘ඔහු උඩ කෝට් ‍එකේ උඩ බොත්තම විතරයි දමා හිටියෙ. පටිය වෙනුවට කළු ලේන්සුවකින් කලිසම තද කරගෙන හිටියෙ” කියා මුදලිඳු යළිත් සිනාසිණි.

“මම ඉස්කෝලේට ගිය මුල් දවසේ ම පිලිප් ලුවිස් වයිස් ප්‍රින්සිපල් ව දැක්කේ විගඩම් විකට චරිතයක් විදිහට‍. මම ඔහුගේ විකට චිත්‍රයක් ඇන්දා. පන්තියෙ ළමයි මේක දැකල උඩ පැන පැන හිනාවුණා. මේක දැකපු විදුහල්පති ජේ.ජී.එල්. මෙන්ඩිස් මහතා අපි ළඟට ඇවිත් චිත්‍රය බලලා අරන් ගියා. ගෙදරට ගියාට පස්සෙයි වෙනස තේරුණේ. රෑ කෑම කාලා නිදා ගන්න ඉස්සර අපි සහෝදරයෝ තුන් දෙනා තාත්තගේ මූණ සිඹ ‘ගුඩ් නයිට්’ කියලා නිදා ගන්න සිරිතක් තිබුණා. එදා තාත්තා ‘ගුඩ් නයිට්’ කිව්වේ නෑ. මාව තාත්තගෙ කාමරයට එක්ක ගිහින් අර විකට චිත්‍රය පෙන්නලා මට වේවැලෙන් තැළුවා. තාත්තා යළිත් පින්තූරය බලලා මුවට නැඟුණු සිනාව අමාරුවෙන් මැඩ පවත්වා ගත්තා. තාත්තා මට තැළුවත් ඔහු මගේ හැකියාව අගය කළා. මොකද තාත්තා මහනුවර ට්‍රිනිටි විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ විද්‍යාලයේ හිටිය දක්ෂ චිත්‍ර ශිල්පියාලු”

මුදලිඳු අමරසේකර එදා අපට කීවේය.මොරටුවේ ප්‍රින්ස් ඔෆ් වේල්ස් විද්‍යාලයෙන් මෝදර සාන්ත තෝමස් විද්‍යාලයට‍ ඉගෙනීමට ගිය අමරසේකර තරුණයා ‘ඩෝමැට්රි’ නම් නේවාසික ශිෂ්‍යයන්ගේ සඟරාවේ චිත්‍ර ඇන්දේ ය. මේ සඟරාවේ සංස්කාරකවරයා ෆ්‍රැන්සිස් මොලමුරේ ය. (පසුව කථානායක) තම පන්තියේම සිටි තවත් මිතුරකු වී ඇත්තේ පසුව ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වූ ඩී.ඇස්. සේනානායක මහතා ය. අමරසේකරගේ චිත්‍ර කලාවට තිබෙන දක්ෂතා අවබෝධ කරගත් මුල් ම තැනැත්තා පාසලේ වෝඩ්න් ස්ටෝන් 1903 වසරේ ලංකා කලා සංගමයේ චිත්‍ර තරගයට ඔහුගේ චිත්‍රයක් ඉදිරිපත් කළේ ය. මේ චිත්‍රයට මුල් තැන හිමි විය. ඒ චිත්‍රය තම කලාගාරයේ එල්ලා ඇති බව ඔහු අපට පෙන්නුවේ ය. පුතාගේ චිත්‍රයට මුල් තැන හිමි වූ දා පියාට තිබුණේ අසීමිත සතුටක් බව ඔහු කීවේ මුහුණට ලොකු සිනාවක් නංවා ගනිමිනි.

උපාසිකාව

වයස අවුරුදු 19 දී අමරසේකර වෙළෙඳ චිත්‍ර ශිල්පියකු වීමට සිතා කේව් සමාගමෙන් ගෙන්වා ගත් පිටරට පොත් බලා ඒ සඳහා පුහුණුවක් ලබා ගත්තේ ය. වරෙක ‘එම්ක්‍රිස්’ සඟරාවේ කාටුන් ශිල්පියකු ව‍ූ ඔහු පසුව කොළඹ කාර්මික විද්‍යාලය, මරදානේ ශාන්ත ජෝසප් විද්‍යාලය, හා කොළඹ කාන්තා විද්‍යාලයේත් චිත්‍ර කලා ගුරුවරයකු ලෙස සේවය කොට ඇත. 1908 ඔහු විසින් පවත්වාගෙන ගිය ‘ද ආට්ලියර්’ චිත්‍ර කලායතනයේ ආරම්භක ශිෂ්‍යයා වී ඇත්තේ ජෝන් ලයනල් කොතලාවල ය. (‍ඔහු ලංකාවේ අග්‍රාමාත්‍යවරයකු විය) හැරල්ඩ් සොයිසා (හිටපු කොළඹ බිෂොප්), පසුව ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් වූ ජස්ටින් දැරණියගල, හැරී පීරිස්, ජී.ඇස්. ප්‍රනාන්දු, ද දොස්තර එම්.‍වී.පී. පීරිස්, හිටපු ඇමැති දොස්තර සී.සී. ද සිල්වා සෙසු ශිෂ්‍යයන් අතර වූහ.

1924 එංගලන්තයට ගොස් ‘රෝයල් ආට් ඇකඩමි’ ප්‍රදර්ශනාගාරයේ ලෝකයේ ප්‍රකට චිත්‍ර ශිල්පීන් අතර ලංකා‍ව නියෝජනය කළ එක ම චිත්‍ර ශිල්පියා අමරසේකර ය. 1938 ඔහු තම එක ම පුතු එකල‍ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උගනිමින් සිටි ඩග්ලස් අමරසේකරයන් සමඟ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූහ. පසුව ගණිතය පිළිබඳ මහාචාර්යවරයකු ව සිටි මහාචාර්ය ඩග්ලස් අමරසේකර පියා මෙන් ම දක්ෂ චිත්‍ර ශිල්පියකු මෙන් ම මැජික් ශූරයකු විය. මහාචාර්ය ඇල්බට් ධර්මසිරි පවසන්නේ ඩග්ලස් පියාට වඩා දක්ෂ චිත්‍ර ශිල්පියකු’ බව ය. මහාචාර්ය ඩග්ලස් අමරසේකර වසර 83 ක් ආයු වළඳා 2001 වසරේ මිය ගියේ ය.

මුදලිඳු අමරසේකර ප්‍රතිරූප (Portrait) ඇඳීමේ ප්‍රවීණයෙක් විය. ඒ අතර මහාත්මා ගාන්ධි, රවීන්ද්‍රනාත් තාගෝර්, ශ්‍රී නේරු, ශ්‍රී නිවාස ශාස්ත්‍රි, අනගාරික ධර්මපාල, ඩී.ඇස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සර් ජෝන් කොතලාවල, ඩඩ්ලි සේනානායක, ඩබ්ලිව්. දහනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, විලියම් ගොපල්ලව, ජේ.ආර්. ජයවර්ධන, සර් ඔලිවර් ගුණතිලක, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, ඩී.ආර්. විජයවර්ධන, සර් ඩී.බී. ජයතිලක, සර් ජේම්ස් පීරිස්, සර් පොන්නම්බලම් රාමනාදන්, ආනන්ද සමරකෝන්, සර් ඇල්බට් එෆ්. පීරිස්, සර් නිකලස් ආටිගල, සර් ෆොරැස්ටර් ඔබේසේකර, ඩී.ඇස්. සේනානායක මැතිනිය, සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක, ඊ.සී.බී. විජේසිංහ, සර් ෆ්‍රැන්සිස් මොලමුරේ, ආණ්ඩුකාර සර් ඇන්ඩෘ‍ෘ කෝල්ඩිකොට්, දොස්තර සී.ඒ. හේවාවිතාරණ, පූජ්‍ය බද්දේගම පියරතන නාහිමි, ඒ.ඇස්. අමරසේකර දේවගැතිතුමා (පියා) ප්‍රධාන තැනක් ගනී. අන්තර්ජාතික කීර්තියට පත් Unemployed (1932) රක්ෂා නැති අය Devil Dancer’s Daughter (යකැදුරාගේ දියණිය) මහනුවර පෙරහැර, කුණාටුව, සිද්ධස්ථානය වෙත පඩිපෙළ චිත්‍ර කොළඹ කලාභවනේ ප්‍රදර්ශනාගාරයේ එල්ලා තිබුණි.

ඔහු විසින් අඳින ලද කළු සුදු චිත්‍ර අතර Bather, Colombo Road, Buller’s Road, The day’s end විචාරක ප්‍රශංසාවට ලක්වූ සිතුවම් ය. “මා ලවා ප්‍රතිරූප (Portrait) ඇඳීමේ දී මා ඉදිරිපිට සිටි පුද්ගලයන් අතුරින් මා වඩාත් තෘප්තිමත් කළ තිදෙනෙකු සිටිනවා. මහාත්මා ගාන්ධි, රවීන්ද්‍රනාත් තාගෝර් සහ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන. මේ හැර ලංකාවේ ආණ්ඩුකාර ධූරය දැරූ සර් හර්බට් ස්ටැන්ලි මා ඉදිරියේ පැය දෙකක් පෙනී සිටියා බොහොම ඉවසීමෙන්. චිත්‍රය ඇඳ ඉවර වූ පසු ඔහුගේ ඇඳුම් දහඩියෙන් නැහැවී තිබුණේ ! යැයි මුදලිඳු අමරසේකර පැරැණි සිදුවීම් මතක් කරමින් කී‍‍වේ ය.

A Lady from Jaffna

අප එදා එහි යනවිට (1980) ඔහු ආර්. ප්‍රේමදාස අගමැතිගේ ප්‍රතිරූපය අවසන් කරමින් සිටියේ ය. මුදලිඳු අමරසේකර හිතන විදිහට චිත්‍ර ශිල්පියකු වීමට මූලිකව බලපාන කරුණු කිහිපයක් ඇති බව අපට පැවසීය. “චිත්‍ර ශිල්පියකු ලස්සන දේට ආදරය කරන ස්වභාව සෞන්දර්යයට ළැදි කෙනෙක් විය යුතුයි. තමා විඳින අපූර්වත්වය චිත්‍රයට නැඟීමට උත්සාහ කළ යුතුයි” යන්න ය. මුදලිඳු අමරසේකර චිත්‍ර කලාවට පමණක් නොව මැජික්වලට සහ ඇස් බැන්දුම්වලට සූරයෙකි. දෙවන ලෝක මහා සංග්‍රාමය සමයේ යුද පෙරමුණේ සිටි ඉංග්‍රිසි හමුදාවට මැජික් පෙන්වමින් ඔවුන් මවිතයට පත් කළ ලාංකිකයා ඔහු ය. ලංකාවේ ද ඔහු පෙන්වූ මැජික් දර්ශන බලා ඉන්දීය අගමැති ශ්‍රී නේරු පවා මවිතයට පත් වී ඇත. මැජික් සූරයන් 100කින් යුත් ලංකා මැජික් සංගමයේ සභාපතිවරයාව සිටියේ ද ඔහු ය.

ඇල්.ටී.පී. මංජු ශ්‍රී කරන මේ විවරණයෙන් මුදලිඳු අමරසේකර පිළිබඳ මේ සටහන මම අවසන් කරමි.

වාල්මීකී ඍෂිවරයාට පසු මේ ස්වර්ණ ලංකාවේ මිහිපිට අන් ප්‍රදේශයකට නොහිටි ප්‍රකෘති සෞන්දර්යය මූර්ති විශේෂයෙන් හා කැමරා නයනයකින් මෙන් මනා ලෙස නිවැරැදිව මැනගත් පෙර පසුබිම් හා මැද අවට විෂයයන් සහානුභූතියෙන් පරිමාර්ජිත කොට චිත්‍රපටයට නඟන ලද්දේ මුදලිතුමා විසිනි. මුදලිතුමා පමණ භූ දර්ශන චිත්‍ර නිපදවූවෙක් ලංකා චිත්‍ර ශිල්පීන් අතර නැත.

Leave a comment